Monday, May 25, 2015

අකාලික දහමේ නොකල් බව...





වියපත් වන විට.. 
නුඹ දුක් වේවි...
ගඟට ඉනි කැපුවා යැයි කියා...

ධර්මය කියන්නට වෙහෙසුණත්..
ගන්න කෙනෙකුත් නැති නිසා..

ලෝකයට අනුවම කැරකිලා..
යන අයට මේ උතුම් නිවනට..
පිවිසෙන්න බැරි නිසාවෙන් ..

කාමයන්  උදෙසා ම දිනපතා..
රැකියා කරන පිරිසට...
මේ ගැඹුරු දහමේ රසය ගැන..
වගක් නැති වන නිසාවෙන්.... නුඹ
 

වියපත් වන විට.. 
දුක් වේවි...
ගඟට ඉනි කැපුවා යැයි කියා...

කලණ මිතුරා තෝරා ගනිමු...



තථාගත ධර්මය ස්පර්ශ කරන කෙනා ඒක කරන්න ඕන ගෞරවයෙන් ම යි. මේ ගෞරවය තියුණු එකක් විය යුතුයි. ඕනැම කාරණයක් කෙරේ පිළිගැනිමක් ඇති වෙන්නෙ කැමැත්ත මත. කැමැත්ත ඇති වෙන්න නම් ඒ කෙරේ ගෞරවයක් තියෙන්න ඕන. මේ ධර්ම ගෞරවය නැති කෙනාට නිවන් මඟ ඇහිරෙනවා . ධර්ම ගෞරවය ඇති කරගන්නෙ කෙසේ ද? ධර්මය කියන කල්‍යාණ මිත්‍රයා කෙරේ ගෞරවයත් සත්පුරුෂ ධර්මය වැඩීමත් මුල් කරගෙනයි. ධර්මය තමාගේ කරගන්නෙ තමා ම ධර්ම දැණුමක් හදාගන්න උත්සාහ කරනකොටයි. මගේ දැණුමක් කියල මත් වෙලා ඔහුට වැටහෙන්න ගන්නව තමාට අවබෝධ වුණා කියල. ඉන් පස්සෙ ඔහු අන් අයගේ මතවාද වලට ඇහුම් කන් දෙන්නැ. ඔහුට වරදිනකොට අකුසල් හට ගන්නවා.

ධර්මය කියාදෙන කල්‍යාණ මිත්‍රයා කෙරේ ගෞරවය ඇති වෙන්නේ කෙසේද? චංකී සූත්‍රය තුළ තියෙනව කල්‍යාණ මිත්‍රයා තෝරා ගන්න හැටි.. ලෝභ ද්වේශ මෝහ නොපවත්වන කායික වාචසික හැසිරීම් නැත්නම් අන්න ඒ කෙනා තමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තියට සුදුසු..

පින්වත් භාරද්වාජ, මෙහිලා භික්ෂුවක් එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය කරනවා. එහිදී ගෘහපතියෙක් හෝ ගෘහපති පුත‍්‍රයෙක් පැමිණ කරුණු තුනක් පිළිබඳව විමසනවා. එ් ලෝභය ඇති කරවන දේවල් පිළිබඳව ත්, ද්වේෂය ඇති කරවන දේවල් පිළිබඳව හා මෝහය ඇතිකරවන දේවල් පිළිබඳවයි. එ් කියන්නේ යම් ලෝභය ඇති කරවන දේවල් තුළින් පෙරළී ගිය සිතින් යුතුව, නො දන්නා දෙයක් දනිමියි කියනව’යි කියනවා නම් අනුන්ව ද එ් කෙරෙහි සමාදන් කරවනවා නම්, එ් හේතුවෙන් අනික් උදවියට ද බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ලෝභය ඇති වන ධර්මයන් මේ ආයුෂ්මතුන් තුළ
තියෙනවා ද?’ කියල.
ඉතින් මේ විදිහට ඔහු විමසද්දී මෙහෙම තේරුම් ගන්නවා. යම් ලෝභය ඇති කරවන දේවල් තුළින් පෙරළී ගිය සිතින් යුතුව, නොදන්නා දෙයක් දනිමි යි කියනවා නම්, නො දකින දෙයක් දකිමයි කියනවා නම් අනුන්ව ද එ් කෙරෙහි සමාදන් කරවනවා නම්, එ් හේතුවෙන් අනික් උදවියට ද බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ලෝභය ඇති වන ධර්මයන් මේ ආයුෂ්මතුන් තුළ නැහැ කියල.

ලෝභ නැති කෙනෙක් තුළ යම් ආකාර කායික හැසිරීම් තියෙනවා නම්, වාචසික හැසිරීම් තියෙනවා නම්, එ් විදිහට තමයි මේ අයුෂ්මතුන් තුළ තියෙන්නෙ.මේ ආයුෂ්මතුන් යම් ධර්මයක් දේශනා කරනවා ද, එ් ධර්මය ගාම්භීරයි. දැකීමට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප‍්‍රණීතයි. තර්ක ගෝචරයෙන් තොරයි. සියුම්. නුවණැත්තන් විසින් අවබෝධ කළ යුතු දෙයක්. ලෝභ සහගත පුද්ගලයෙකුට නම් එ් ධර්මය පහසුවෙන් කියන්නට බැහැ.
තවදුරටත් ඔහු ගැන සොයා බලද්දී ලෝභය ඇති කරවන දේවල් වලින් ඔහු නිදහස්ව පිරිසිදුව සිටින බවට දකින්නට ලැබෙනවා.

ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කොට වාසය කරන්නේ කව්ද? රහතන් වහනසේ නේද.. එහෙනම් අපි මෙ කල කල්‍යාණ මිත්‍රයා තෝරා ගන්නා විට කළ යුත්තේ කුමක්ද? ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කරන වැඩපිළිවෙලක නියුතු, ඒ වගේ ම ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කරන තථාගත ධර්මය ම කියන උතුමන් වහන්සේ නමක් නේද? අන්න ඒ කාරණය නිරවුල් කරගන්න ඕන.. කල්‍යාණ මිත්‍ර ඇසුර කෙතරම් තිබුණත් වැඩක් නැහැ තමා අසත්පුරුෂ නම්.. තමාගේ සත්පුරුෂ භාවය මතමයි කල්‍යාණ මිත්‍ර ඇසුරේ වාසය කොට ධර්මය දියුණු කරන්නට අවස්ථාව ලැබෙන්නේ. නැත්නම් ඔහු කල්‍යාණ මිත්‍ර ඇසුර තිබුණත් පරිහාණියට පත් වෙන කෙනෙක් වෙනවා..

Saturday, May 23, 2015

වැටත් නියරත් ගොයම් කා නම්..???


බෞද්ධයන්ට තියෙන්නෙ මහ වේලිච්ච හිත්.. තෙත් ගතියක් ඇත්තෙම නෑ. ඒකට හේතුව බෞද්ධයාට ධර්මය නැති කමයි. බෞද්ධ පැවිදි සමාජය ධර්මය අත් හැරිය. සම්ප්‍රදාය බදා ගත්ත. නැවත ධර්මය ඉස්මතු කරන්න හදන අයත් නැවත සම්ප්‍රදාය බදා ගත්ත. ඉතින් කවුද ධර්මය කියන්නෙ. පැවිද්දා ධර්මය කියන වගකිම අත් හැරල සම්ප්‍රදායට තැන දුන්නාම කව්ද ධර්මයෙන් රට රකින ජාතියේ මුර දේවතාවන් වෙන්නෙ. අන්න ඒ අභාග්‍යයට බෞද්ධයා ලක් වුණා..  දැන් ගොඩගන්න බැරි තරමට මේක නැසිල ඉවරයි. පන්සල් සම්ප්‍රදාය විසින් ධර්මය අත් හැරල.. වැඩිහිටි සග පරපුර පවත්වාගෙන ආපු සංස්කෘතියත් දැන් සිටින භික්ෂු සමාජය විසින් කෙලෙසාගෙන යනව. බහුතරයක් දුස්සීල භාවය නිසා පෞරුෂය නසාගත්ත සංඝ පරපුරක් දැන් ඉන්නෙ. ඉතින් සමාජයට යහපත කියන්නේ කෙසේද කොන්දක් නැතුව.  සිවුර දරාගෙන කියන දේට විහිලු කරන්නට තරම් සමාජය අද විකෘතියක් වෙලා නැද්ද??

ඒ සම්ප්‍රදාය වෙනස් කරපු නව ආරණ්‍යවාසීන් ද නැවත සම්ප්‍රදාය බදාගත් සාපය නිසා ධර්මය යට යනව. සුළු පිරිසක් තාම ධර්මය පුරුදු කරන්නේ නමුත් සමස්ථයට වෙච්ච හානිය රටක් ලෙස දරාගන්න බැහැ. මේ ධර්මය රැකෙන්නෙ ධර්මයේ හැසිරිමෙන්මයි කියන බුද්ධ වචනය වෙනස් කරන්න කාටද හැක්කේ.

දැන් දැන් නිරාගමික රැල්ලක් විශේෂයෙන් විශ්වවිද්‍යාල තරුණ පිරිස අතරින් එනව නේද.? ඒකට සාධාරණ හේතුන් තියෙනව. මොකද ඔවුන් බුදු දහම දකින්නෙ සමාජයට හානිකර ආගමික අධිකාරියක් පවත්වන එකක් හැටියටයි. බලන්න මුස්ලිම් අය ගෙ නිරාගමිකයො ඉන්නවද. ක්‍රිස්තියානින්ගෙ?? නැහැ .. බෞද්ධ ළමයි තමයි මේකටත් ගොදුරු වුණේ .. මේකට හේතුව පිරිසිදු ශ්‍රි සද්ධර්මය සමාජගත නොවිම ම යි. වෙන කුමක් ද? දැන් මේ විස සමාජගත වෙලා ඉවරයි. දැන් අලුත් අයටත් ආදර්ශමත් වෙන්නෙ අර නිරාගමික රැඩිකල් චරිත. මොකද ඔවුන් සමාජයේ නිදහස් චින්තනයක් කතා කරනව. නිදහසට කවුද අකමැති. බලන්න කුසල් අකුසල් සමාදන් වීමක් නැතිව, අධර්ම රාගයත් විසම ලෝභයත් පවත්වන, ලැජ්ජා බිය නැති නිදහස් චිනතනයක් ඒක.

මේ අනතුරින් අප බේරෙන්නෙ කෙසේද? ධර්මය කීමෙන් ධර්මයේ හැසිරිමෙන් මිස කිසි විසදුමක් නැහැ. 

Friday, May 15, 2015

මෙත් සිත වඩන හැටි... අනුරුද්ධ සූත්‍රය ඇසුරෙන්... මජ්ඣිම නිකාය -3 උපරි පණ්ණාසකය



ගෘහපතිය, යම් අප්‍රමාණචෙතෝවිමුක්තියක්, යම් මහද්ගතචෙතොවිමුක්තියක්  ඇද්ද, මේ ධර්මයන් නානා අර්ථ ද වෙති, නානා ව්‍යඤ්ජන (කියන ක්‍රමය විවීධ) ද වෙත්. යම් පරිදි මේ දහම් නානා අර්ථත් නානා ව්‍යඤ්ජනත් වෙත් ද, ගැහැවිය, මේ ක්‍රමයෙනුදු මෙය දැනගත යුතු ය.

ගෘහපතිය, අප්‍රමාණචෙතෝවිමුක්ති නම් කුමක්ද: ගෘහපතිය, මේ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිශාවක් පතුරුවා වාස කෙරෙයි. දෙවන දිශාව එපරිදි ම ය, තෙවන දිශාව එපරිදි මය, සතරවන දිශාව එපරිදි ම යි. මෙ සැටියෙන් උඩ ය, යට ය, හරස්අත ය, යි හැම තැන සෑම අයුරින් ම සියලු සතුන් ඇති ලොකයට විපුල ලෙස මහද්ගත ලෙස අප්‍රමාණ ලෙස වෛර නැති, තරහ නති වූ, මෛත්‍රීසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි.
මේ අයුරින් කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපෙක්ෂාසහගත සිතින් එක් දිශාවක් පැතිරැගෙන වාස කෙරෙයි. දෙවන දිශාව එපරිදි ම ය, තෙවන දිශාව එපරිදි මය, සතරවන දිශාව එපරිදි ම යි. මෙ සැටියෙන් උඩ ය, යට ය, හරස්අත ය, යි හැම තැන සෑම අයුරින් ම සියලු සතුන් ඇති ලොකයට විපුල ලෙස මහද්ගත ලෙස අප්‍රමාණ ලෙස වෛර නැති, තරහ නති වූ, මෛත්‍රීසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. ගෘහපතිය, මේ අප්‍රමාණචෙතොවිමුක්ති වෙයි.

ගෘහපතිය, මහද්ගතචෙතොවිමුක්ති නම් කුමක්ද :
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ එක් රුක් මුලක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ.
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ.
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ එක් ගම්කෙතක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ.
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ.
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ එක් මහාරාජ්‍යයක් පමණ තැන් මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ.
ගෘහපතිය, මෙ සස්නෙහි මහණ මහාරාජ්‍ය දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට වාස කෙරෙයි. ගෘහපතිය, මෙ ද මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගෘහපතිය, මෙ සස්නෙහි මහණ සමුද්‍ර පර්‍ය්‍යන්ත පෘථුවිය පමණ තැන් මහත්ගත යයි අරමුණු කොටනිශ්චය කොටගෙන වාසය කෙරෙයි. ගෘහපතිය, මෙ ද මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගෘහපතිය, යම් පරිදි මේ ධර්මයන් නනා අර්ථත් වෙත් ද නානා ව්‍යඤ්ජනත් වෙත් ද, එය මෙ කරුණිනුදු දතයුතු වේ.


සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!

Thursday, May 14, 2015

විමසන්න ඕන සැබෑ කාරණය




‍තථාගත ධර්මය තුළ තමන්ගේ හිත සමාදන් කරන්න ඕන බොහෝ ගෞරවයෙන්. මේ ගාරවතා කියන එක නැති කෙනාට ඉදිරි ගමනක් නෑ. තෙල් වැටි පිරවූ පහනක් ජලයේ තියනකොට කොච්චර පරිස්සමට සමතුලිත කරල තියන්න ඕන ද. ඒ ජලය කැලඹිලා නම් තියන්නත් බෑ. සුළං නං තියන්නත් බෑ. ඒ පහන තියන කෙනා තුළ පුහුණුවක් නැත්තං ඒත් තියන්න බෑ. හොද පුහුණුවක් තියෙන, බාහිර සුළං ආදියෙන් බාධා නැති, නොකැළඹුණු ජලයේ සමතුළිත කරල පහන තිබ්බාම ඒක පාවෙනව. නැත්තං ගිලෙනව.
අන්න ඒ වගේ තමයි සිත නීවරණ කැළඹිල්ලෙන් අඩු කරගන්නත් ඕන. බාහිර බාධා අඩු පරිසරවල වාසය කරන්නත් ඕන. ධර්මය හිතේ තියන්න හොඳ පුහුණුවක් ලබන්නත් ඕන. හොද තෙල් වැටි තියෙන කලක මෙන් ධර්මය හොදින් ඇසෙන්නත් ඕන. ඒ පහන දල්වන්න පින තියෙන්නත් ඕන. පහන එතෙරට යනකල් රකින්නට උපදෙස් දෙන කලණ මිතුරා ඉන්නත් ඕන. මේ වගේ නිවන සාක්ෂාත් කරන වැඩපිළිවෙලට පිවිසෙන්න නම්, බාහිර අභ්‍යන්තර ගැටලු රාශියකට විසඳුම් සහිතවයි මේ මග ගමන් කරන්න ඕන.

අපිට නිවන මඟ සාක්ෂාත් කරන්නට කැමැත්ත ඇති කරන ප්‍රධාන කරුණක් තමයි මේ ජීවිතේ ගැන ජරා මරණ ධර්මය අනුව විමසන එක. ඒ ජරා මරණ ධර්මය දකින විට සිත මේ සසරින් මිදෙන්නට කැමැත්තේ ටිකින් ටික පිහිටනවා. අන්න ඒ නිසා කෙනෙක් ජරා මරණ ධර්මය තුළ වාසය කරන්න නම් ඒ ජරා මරණ නුවණින් විමසන වැඩපිළිවෙලක් දිනපතා ම කරන්න වෙනව. ඒකට පිවිසෙන ආරම්භක ක්‍රමයක් තමයි ඨාන සූත්‍රයේ කරුණු පහ නුවණින් විමසන එක. මේ කරුණු පහ භාවනාවක් වශයෙන් වඩන හැටි අපි දැන් බලමු.

Monday, May 11, 2015

දුක හටගන්නෙ ප්‍රිය දේ නිසාමයි








කාමයන්ගේ ආදිනව පරුෂයි. තමන්ගේ විනෝදාශ්වාදය පිණිස ඇතැමුන් කරන නොයෙක් දේ නිසා දුක හටගන්නව. වහා බිදී යන කයක් උරුම කරගත් මිනිසා ඒ කයට නොයෙක් මත් ද්‍රව්‍ය පොවනව. ඒ කය රාග ගින්නෙන් දවල කාමය වරදවා හැසිරෙනව.  කය නොයෙක් තැන ගෙනියනව. විනෝදය පිණිස අනතුරු දේ කරනව. අනතුරක් පිණිස විනෝදයක් ඇති දේ පරිහරණය කරගන්නටත් බය නෑ.

ධර්මය නොදන්නා එවන් පිරිසක් හැසිරෙන ආකාරය මම අද දුටුවා. කැලණි මිටියාවතේ වන පෙදෙසක දිවා යාමයේ සක්මන් කරමින් සිටි මා දුටු දේ විශ්මිතයි. තරුණ උන්මාදයෙන් ඔද්දල් වූ පිරිසක් විනෝදාත්මකව බෝට්ටු පදින ආකාරය එක්තරා විශ්මයක්. මට දුක හිතුණ. මේ අයගෙන් කෙනෙක් හෝ ගිලුනොත් එතනම ජීවිතය ඉවරයි නේද කියල මට හිතුනෙ ඔය බෝට්ටු පැදිමෙන් දිවි අහිමි කරගත්ත ගොඩක් අය ගැන මා දන්නා නිසා. ඇත්තටම කටු ගොඩකට මස් අලවා අටවාගෙන ඉන්න මේ කය අනතුරු සහිත දේට යොදවා විනෝද වෙන්න තරම් මිනිසා දුෂ්ප්‍රාඥ ද??

කොළඹ ප්‍රදේශයේ අලුත බැදපු ජෝඩුවක් මේ බෝට්ටු පැදිල්ල නිසා දිවි අහිමි කරගත්ත. විසි වෙලා ගිහින් ඔලුව ගලක වැදුණු තරුණයෙන් අර හෙල්මට් ද කුඩු කරගෙන එතනම මැරුණා. මේ වගේ තමන්ට වෙයි නේද කියල හිතන්න තරම් මොලයක් මේ පිරිසට නැත්තේ කාමයේ ආශ්වාදයේ බලයට වාල් කම් කරන නිසා ම යි.
 
ලස්සන වැඩේ ඒක නෙවෙයි. මා ධර්මය කියා දෙන, ඉතා සෙනෙහසින් ධර්මයේ සමාදන් කරවන කෙනෙකුත් මේ මම ගඟ උඩ බලන් ඉන්න අතරේ බෝට්ටු පැදල. අනේ සංසාරේ.. ගොන් කමේ සිමාවක් නැ නොවැ. මම ඒ වගක් එ වෙලේ දන්නව නං... මගේ අත් දෙක කපල ඒ ගගටම දානව. මොකද මගේ මේ අත් දෙකෙන් ධර්ම කරුණු ඔහු වෙනුවෙන් ටයිප් කරල ඇති අප්‍රමාණව... අනන්තව.. විනෝදය සාධාරණීකරණය කරන ලෝකයෙන් ගැලවෙන්න බැරි කොන්දක් බොහෝ අයට නෑ. තමා රැකියා කරන ස්ථානයේ වැදගත් ‘ඉවෙන්ට්‘ එකක් නාමයෙන් හෝ මේ වගේ අනතුරු දායක දේ කරන්න කෙනෙක්ට සිදු විය හැකියි. ඒත් ඒ තුළ තමාගේ වටිනා ජිවිතේ නැති කරගන්න අනතුරක් එනවා කියන එක පේන්නැ මේ මෝඩ හිත් වලට..

කියල වැඩක් නැ ඉතින්.. බොහෝ අයට තමන්ගෙ ජීවිතයට සැබැ සෙනෙහසක් නෑ. ඉතින් ඔහු ධර්මයට සෙනෙහසක් දක්වන්නේ කෙසේද?  ‘දුක හටගන්නෙ ප්‍රිය දේවල් නිසා‘ කියල ධර්මය පෙන්වා දෙද්දි ප්‍රිය දේ අන්ධ ලෙස ඇසුරු කරන්න හොද නෑ..

මට කියන්න ඔන වුනේ මේකයි.. කවදවක් සත්පුරුෂයින් රවට්ටන්න නම් එපා... මක් නිස ද යත් තමා මයි එයින් රැවටෙන්නේ...
 



 

Monday, May 4, 2015

මේ ඇස මගේ ද??





අනේ මන්ද
හිතෙන්නෙම මේ ඇස මගේ කියල...
කොහොම නොහිතෙන්න ද
මම විසින් සියල්ල බලන කල..

මම නිසා ඇස රූප බලල මට දුන්න දුක... අප්‍රමාණයි
රාගය නිසා ද්වේෂය නිසා මෝහය නිසා ගිනිගත් සිතක් ඉපදුනා
ගිිනි තිබ්බෙ ඇසයි කියල හිතුණත්
ඇත්තටම ගිනි තිබ්බෙ ‘‘මම‘‘