Thursday, May 14, 2015

විමසන්න ඕන සැබෑ කාරණය




‍තථාගත ධර්මය තුළ තමන්ගේ හිත සමාදන් කරන්න ඕන බොහෝ ගෞරවයෙන්. මේ ගාරවතා කියන එක නැති කෙනාට ඉදිරි ගමනක් නෑ. තෙල් වැටි පිරවූ පහනක් ජලයේ තියනකොට කොච්චර පරිස්සමට සමතුලිත කරල තියන්න ඕන ද. ඒ ජලය කැලඹිලා නම් තියන්නත් බෑ. සුළං නං තියන්නත් බෑ. ඒ පහන තියන කෙනා තුළ පුහුණුවක් නැත්තං ඒත් තියන්න බෑ. හොද පුහුණුවක් තියෙන, බාහිර සුළං ආදියෙන් බාධා නැති, නොකැළඹුණු ජලයේ සමතුළිත කරල පහන තිබ්බාම ඒක පාවෙනව. නැත්තං ගිලෙනව.
අන්න ඒ වගේ තමයි සිත නීවරණ කැළඹිල්ලෙන් අඩු කරගන්නත් ඕන. බාහිර බාධා අඩු පරිසරවල වාසය කරන්නත් ඕන. ධර්මය හිතේ තියන්න හොඳ පුහුණුවක් ලබන්නත් ඕන. හොද තෙල් වැටි තියෙන කලක මෙන් ධර්මය හොදින් ඇසෙන්නත් ඕන. ඒ පහන දල්වන්න පින තියෙන්නත් ඕන. පහන එතෙරට යනකල් රකින්නට උපදෙස් දෙන කලණ මිතුරා ඉන්නත් ඕන. මේ වගේ නිවන සාක්ෂාත් කරන වැඩපිළිවෙලට පිවිසෙන්න නම්, බාහිර අභ්‍යන්තර ගැටලු රාශියකට විසඳුම් සහිතවයි මේ මග ගමන් කරන්න ඕන.

අපිට නිවන මඟ සාක්ෂාත් කරන්නට කැමැත්ත ඇති කරන ප්‍රධාන කරුණක් තමයි මේ ජීවිතේ ගැන ජරා මරණ ධර්මය අනුව විමසන එක. ඒ ජරා මරණ ධර්මය දකින විට සිත මේ සසරින් මිදෙන්නට කැමැත්තේ ටිකින් ටික පිහිටනවා. අන්න ඒ නිසා කෙනෙක් ජරා මරණ ධර්මය තුළ වාසය කරන්න නම් ඒ ජරා මරණ නුවණින් විමසන වැඩපිළිවෙලක් දිනපතා ම කරන්න වෙනව. ඒකට පිවිසෙන ආරම්භක ක්‍රමයක් තමයි ඨාන සූත්‍රයේ කරුණු පහ නුවණින් විමසන එක. මේ කරුණු පහ භාවනාවක් වශයෙන් වඩන හැටි අපි දැන් බලමු.

No comments:

Post a Comment